Thursday, November 28, 2013

විහාරස්ථානවල විදුලි බිල් ගෙවන සාධාරණ මුදලාලි

ඔහුට ගමේ පන්සලත් එක ය. ගමෙන් පිට පන්සලත් එකය. ගමේ
 පන්සලේ විදුලි බිල ගෙවීමෙන් ආරම්භ කළ ඔහුගේ සද් කාර්යයට මේ වන විට පන්සල් අසූපහක් එකතු වී ඇත. පන්සල් සියයක විදුලි බිල් ගෙවීම අරමුණු කරගත් ඔහු සෑම වෙසක් පොහෝ දිනකම භූමිතෙල් දන්සලක් ද පවත්වන්නේ ය. ආලෝක පූජාවෙන් ලෝක සාමය ඇතිවේවා යැයි ප්‍රාර්ථනා කරන ඔහු මහියංගන කුරුවිතැන්නේ සාධාරණ ස්ටෝර්ස් හි සාධාරණ මුදලාලි හෙවත් තිස්ස හේවාවසම් ය. මනතුංග තැපැල්කරු සුපුරුදු ලෙස එදත් තිස්ස හේවාවසම් මුදලාලිගේ වෙළෙඳසලට ගොඩවූයේය. ඔහු අදාළ ලිපි කිහිපය මුදලාලිගේ අතේ තැබුවේය. මුදලාලි විනාඩි කිහිපයකදි අදාළ ලිපි කඩා බලා වෙන්කළේය. මොහොතකින් ඔහු ලිපි සමඟ ආ විදුලි බිල් කිහිපය ද මුදල් ද රැගෙන තැපැල්කරු වෙත පැමිණියේය. ”ආ මෙතන රුපියල් දහදහස් පන්සියක් තියෙනවා මේ මුදල් ටික ගෙවන්න.” මුදලාලි කීවේය. මෙතරම් විදුලි බිල් කාගේ ද? අපි විමසිලිමත් වූයෙමු. එක් බිලක ඇත්තේ මේ මස අය කිරීම යටතේ රුපියල් එක්දහස් හත්සිය තිස්පහයි සත හැත්තෑවකි. ගෙවන ලද මුදල යටින් ලියා ඇත්තේ රුපියල් දෙදහසක් වශයෙනි. එම ගොඩේ තිබූ සෑම විදුලි බිලකම වාගේ ගෙවීමට ඇති මුදලට වඩා ගෙවන මුදල සඳහන් කර තිබීම විශේෂයක් විය. විදුලි බිල්, විදුලි බිල් ගෙවන්නා ආදි මේ අගක් මුලක් නැති කතාවේ මුල සිට අගට ඔබට කියන්නට අපි දැන් සූදානම්ය. මහියංගන බිබිල පාරේ ආඳා උල්පොත හන්දියෙන් හැරුණු අපි බදුලු පාරේ බොහෝ දුර ගියෙමු. ඒ ප්‍රදේශය කුරුවීතැන්නයි. කුරුවීතැන්නේ සාධාරණ ස්ටෝර්ස් හි තිස්ස හේවාවසම් හෙවත් සාධාරණ මුදලාලි ප්‍රදේශයේ පමණක් නොව ඈත ගම් ප්‍රදේශවල ද නමක් දිනූ පින්වතෙකි. විහාරස්ථානවල විදුලි බිල්පත් ගෙවීම මෙන් ම වෙසක් පොහෝ දිනට භූමිතෙල් දන්සලක් පවත්වාගෙන යාම සාධාරණ මුදලාලි කලක සිට පවත්වාගෙන යන්නේය. ඔහුගේ කතාව හරි අපූරුය. ඔහු මෙවර වෙසක් පෝදිනයේ ද භූමිතෙල් දන්සලක් පැවැත්වූයේය. මම උපන්නේ එක්දහස් නවසිය පනස් නවයේ දෙසැම්බර් 6 වෙනිදා. මගෙ ගම නුවර, අම්පිටියේ. අම්මගෙ ගම නුවර. තාත්තා මහ ඉදුරුවේ. අපේ පවුලේ ඔක්කෝම සහෝදර සහෝදරියෝ හයදෙනයි. තාත්තා රස්සාව හැටියට කළේ පොළවල රෙදි වෙළෙඳාමේ යෙදීමයි. මමත් තාත්තා එක්ක පොළවල්වල ගියා. මං ඉගෙන ගත්තේ කුරුවිතැන්න විද්‍යාලයේ. කුරුවිතැන්න මහා විද්‍යාලයේ හතේ පන්තිය දක්වා මම ඉගෙන ගත්තා. දවසක් මම තාත්තා එක්ක තරහා වෙලා රුපියල් දහසකුත් අරගෙන ගෙදරින් ගියා. ඒ කාලේ මහියංගනයට සත තිස් පහයි. නුවරට සත අනූවයි. නුවර ඉඳලා අනුරාධපුරයට රුපියල් එකයි පනස් පහයි. මට මතක හැටියට එක්දහස් නවසිය හැත්තෑවෙදි විතර තමයි ගෙදරින් පැනලා ගියේ. මගේ සීයා නුවර දළඳා මාළිගාවේ මුරකරු ලෙස සේවය කළා. මම සීයා මුණ ගැහිලා සීයට හොරෙන් පහළට ඇවිත් අනුරාධපුරේ යන බස් එකකට ගොඩවුණා. පුංචි අම්මා හිටියේ අනුරාධපුරේ. මාසයක් විතර අනුරාධපුරයේ නැවතිලා සිටි කාලයේ මම අටමස්ථානය වැඳගත්තා. කිලෝ 8 ක බරකින් යුත් ගෙවන ලද බිල්පත් ඊට පස්සේ ආයෙ ගෙදර ආවා. නැවතත් තාත්තා එක්ක වෙළෙඳාමේ ගියා. පල්ලේවත්ත, කන්දකැටිය, මහියංගනය, බිබිල ආදි පොළවල වෙළෙඳාමේ ගියා. ඒ ජවිපෙ කලබල තිබුණු කාලෙ. ඒ නිසා පොළවල වෙළෙඳාම අතහරින්න සිදුවුණා. තාත්තා කුරුවිතැන්නේ කෑම කඩයක් පටන් ගත්තා. ඒ කඩයේ මම පිඟන් හේදුවා. වෙළෙඳාම් කළා. ඒ වෙනකොට මගෙ වයස අවුරුදු දාහතක් විතර ඇති. ඔහොම කාලයක් ගිහිල්ලා මම තරුණසේවා සභාවේ වෑල්ඩින් පාඨමාලාවක් හැදෑරුවා. 1981 වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එකතු වෙලා වැව් බැන්දා. මිනිපේ ඇළ ව්‍යාපාරයේ අවුරුදු දෙකක් වැඩකළා. ඊට පස්සේ බම්බලපිටියේ කිරි මණ්ඩලයේ වැඩට ගියා. ඔය අතරතුර 1991 දී කහ ඉරෙන් පාර මාරුවෙන්න ගිහිල්ලා බයිසිකලේක හැප්පිලා කකුල කැඩුණා.” ඔහුගේ ජීවිතය වෙනස් වූයේ එතැන් පටන්ය. බෙහෙත් අරගෙන ගමට පැමිණෙන අතර මඟකදි ඔහුට තම සහකාරිය හමුවිය. ඉන් මාස තුනකට පසුව ඔහු ඇය එනම් සෝමා දිසානායක සමඟ විවාහ විය. කලක් තාත්තා කරගෙන ගිය කඩය බාරගත් තිස්ස එය හොඳින් කරගෙන ගියේය. ”අපේ තාත්තා මිය ගියේ එක්දහස් නවසිය අනූනවයේ ජනවාරි පළමුවැනිදා. ඒ අවුරුද්දේම මම වෙසක් පෝය දවසේ කුරුවිතැන්න පන්සලේ විදුලි බිල ගෙවන්න බාරගත්තා. මම පන්සල් පහක් බාරගෙන තියෙනවා 2099 වසර වනතුරු (අවුරුදු සියයක්) විදුලි බිල් ගෙවීමට. කට වචනයේ ප්‍රචාරය ගිහිල්ලා අද වන විට රට පුරා පන්සල් අසූපහක විදුලි බිල් ගෙවීම මාසිකව මා විසින් කරනු ලබනවා. මගේ අරමුණ පන්සල් සියයක් දක්වා විදුලි බිල් ගෙවීම භාර ගැනීමටයි.” මෙතෙක් ඔහු විසින් ගෙවන ලද විදුලි බිල්පත් ගෙවීමෙන් පසු ඉතිරිවන බිල්කොටස් සියල්ලම ද ඔහු සුරැකිව තබාගෙන ඇත. එම බිල්පත්වල බර පමණක් කිලෝ 8 ඉක්මවයි. ඔහුට ජීවිතයේ බලාපොරොත්තුවක් ඇත. ඒ මේ සියලු පුණ්‍ය කර්මයන්ගෙන් ලෝක සාමය ඇති වේවා යන්නය. විදුලි බිල් ගෙවීමෙන් නොනැවතුන ඔහු සෑම වසරකම වෙසක් පෝ දිනට භූමිතෙල් දන්සලක් ද පවත්වන්නේ ය. මම භූමිතෙල් දන්සල පවත්වන්න පටන් ගත්තේ 2000 වසරේ ජනවාරි 1 වෙනිදා. භූමිතෙල් බැරල් එකක භූමිතෙල් බෝතල් දෙසිය හැත්තෑවක් තියෙනවා. මෙහිදි භූමිතෙල් ලබා දෙන්නේ විදුලිය නැති අයට. මේ වන විට මම අවුරුදු දහතුනක් භූමිතෙල් දන්සල පවත්වා තිබෙනවා. ඔහු අතීතය සිහිපත් කරන අතරේ ම ඡායාරූප ගොන්නකින් තෝරා ගත් ඡායාරූපයක් පෙන්වයි. ”මේ මොකක්ද?” ”මේ තමයි ගෙදර වැසිකිලියේ දොර. මුල්ම භූමිතෙල් බැරල් එක බෙදලා ගෙදර එන දවසේ නෝනා බැන්නා භූමිතෙල් බෙදන්න යනවා ගෙදර වැසිකිලියට දොරක් නෑ නේද කියලා. මං එවෙලමෙ ඡායාරූප ශිල්පියාට කිව්වා ඒකේ පින්තූරයක් ගන්න කියලා. ඒ තමයි මගේ මුල. මට ඒක අමතක නැහැ.” ඔහු අතීතය සිහිපත් කොට වර්තමානය හා අනාගතය දෙස බලයි. ඔහු දිනපතා කෙසේ හෝ පන්සලක විදුලි බිලක් ගෙවන්නේය. නැතිනම් විදුලි බිලක් ගෙවීමට යැයි කියා එවන ලිපි ගැන සැලකිලිමත් වන්නේය. ඒ අතරම තම වෙළෙඳ සලේ කටයුතු ද කරයි. එය මහා විශාල වෙළෙඳසලක් නොවේ. එහෙත් ඇල්පෙනෙත්තේ සිට විදුලි පන්දම දක්වා ද හාල් තුනපහ, පෑන්, පැන්සල් පොත් ආදි අත්‍යවශ්‍ය සියලුම දේ මේ වෙළෙඳසලේ ඇත. යමකු ඇවිත් යම් භාණ්ඩයක් විමසූ විට එය සිය වෙළෙඳසලේ නැත්නම් පසුදාට ඔහු එය වෙළෙඳසලට රැගෙන එන්නේය. එය කුඩා සුපිරි වෙළෙඳසලක් බඳුය. පාරිභෝගිකයෝ පැමිණෙති. තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරා ගනිති. මුදල් මේසය මත තබා යති. භූමිතෙල් දන්සලට පැමිණි ජනතාව ගේදොර සාදා දරුවන්ටත් ඉගෙන ගන්නට අවශ්‍ය පහසුකම් සලසමින් ඔහු වෙළෙඳාම ද සාර්ථකව පවත්වා ගෙන යයි. ලැබෙන ආදායම විශාල ප්‍රමාණයක එකක් නොවුණද ඔහු විදුලි බිල්පත් සඳහා මසකට රුපියල් තිස්පන්දහසක් පමණ වෙන් කරන්නේය. වරෙක භූමිතෙල් සමඟ ආරක්ෂිත කුප්පි ලාම්පු ද බෙදා දුන්නේය. තවත් වරක් පොල්තෙල් බැරලයක්ද බෙදාදුන්නේය. මේ සියල්ල අවසානයේ ඔහු බලාපොරොත්තු වන්නේ ලෝක සාමයයි. තම පියාට මෑණියන්ට පින් පැමිණවීම ඔහුගේ අනෙක් අරමුණයි. ”අපේ තාත්තා මිය යන්න පැය භාගයක් විතර තියෙන්න ඇති. මම ලෙඩ ඇඳේ හිටපු තාත්තා ළඟට ගියා. මං තාත්තාට කිව්වා මට වරමක් දෙන්න කියලා. තාත්තා අමාරුවෙන් හුස්ම ගත්තේ. ඒත් තාත්තා මට කිව්වා “සමාජයේ හොඳින් ජීවත් වීමට වරම් ලබා දෙනවා කියලා” මට ඒ වරම සම්පූර්ණයෙන්ම ලැබුණා. අද මං ජීවත් වෙන්නේ සතුටින්. මං අද සමාජයට වැඩදායී යමක් කරනවා. මං මුලින්ම භාරගත් පන්සල් පහට අවුරුදු සියයක් යනතුරුම විදුලි බිල් ගෙවීමට කටවචනයෙන් පොරොන්දු වී තිබෙනවා. ඒ පොරොන්දුව ඉටුකරන්න මම 2015 වසර වන විට ඒ ඒ පන්සල් වෙනුවෙන් යම් මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට අදහස් කර සිටිනවා. කුරුවී තැන්නේ සාධාරණ ස්ටෝර්ස් හි සාධාරණ මුදලාලි පමණක් නොව ඔහුගෙන් පසුව ඔහුගේ එකම පුතු ද තම පියා ගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඉටාගෙන සිටී. සාධාරණ ස්ටෝර්ස් වෙතට එන ගැමි ගැහැනියක අමතක වීමකින් මුදල් නොදී යමක් රැගෙන ගිය විට හෝ වැඩිපුර දෙයක් ගෙන ගිය විට සාධාරණ මුදලාලි තැවෙන්නේ නැත. ”ගෙවල්වල කොච්චර ප්‍රශ්න තියාගෙන ද එන්නේ. ඔය ගියාට ආයෙත් අරගෙන ඒවි.” ඔහු සිතුවා නිවැරැදිය. මඳ දුරක් ගිය ඒ ගැමි කාන්තාව සමාවෙන්නැයි කියා වැඩිපුර ගෙන ගිය දේ රැගෙන ආපසු වෙළෙඳ සලට පැමිණියාය. ඒ සාධාරණ මුදලාලි සිතන අයුරුය. සසරින් එතෙර වීමට පෙර මනුෂ්‍යයන් වෙනුවෙන් යමක් කිරීම ඔහුගේ අරමුණ නොවේදැයි අපට සිතිණි

අන්තර්ජාලයෙන්

0 comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර

Like us on Facebook?

Social Icons

Social Icons

Followers